නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

නින්දා ප්‍රශංසා සහ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ....

මේ දවස් කීපයේම බ්ලොග් අඩවි කීපයකම දැක්කා කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවො ගැන සහ උන් වහන්සේ ගේ දේශනා ශෛලිය ආදී නොයෙකුත් කරුණු ගැන..ගොඩක් ප්‍රතිචාර තිබුණෙ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ව හෙලා දැකල.උන් වහන්සේට නින්දා කරල..ම‍ට නම් හිතෙන්නෙ ගොඩක් දෙනා කරුණු හරියට නොදැන තමන්ට අහන්න දකින්න ලැබෙන සමහර කරුණු විකෘති කරල චෝදනා කරනව කියල.....උන් වහන්සේට කරල තිබුණ චෝදනා වලට ගැලපෙන පිළිතුරක් උන්වහන්සේ විසින් සිළුමිණ පත්තරයට ලියල තිබුණ...මම හිතනව මේ පිළිතුර කියෙව්වනම් උන්වහන්සේට චෝදනා කරන අයට උත්තරයක් ලැබෙයි කියල.....(මම මේ පිළිතුර උපුටා ගත්තෙ බ්ලොග් අඩවියකින්..ඒත් මට දැන් ඒකෙ නම මතකයට එන්නෙ නැ....සමාවෙන්න ඕන අනවසරයෙන් උපුටා ගන්න සිදු වුණාට...)
-උපුටා ගැනීම-

සිළුමිණ යනු ඉතාමත් සාරගර්භ ලිපි සමුච්චයකින් සුසැදි බොහෝ කලක් ජනප්‍රසාදය දිනාගත් ජාතික පුවත්පතකි. එවන් උදාර මෙහෙවරක යෙදී සිටි සිළුමිණ වෙසක් කලාපයේ වෙසක් අතිරේකය කියැවූ මාහට මහත් පුදුමයක් ඇතිවිය. එනම් එහි ලිපි බොහෝ සෙයින් බුදු දහමින් බැහැරට ගොස් මඩ ප්‍රහාරයක ස්වරූපයක් ගෙන තිබීමයි. මෙහි ලිපි සැපයූ ඇතැම් ලේඛක භික්ෂූන්ගේ එකම අභිප්‍රාය වී තිබෙන්නේ මාගේ දහම් සේවාවට ගැරහීම පමණි. අප බුදුරජුන්ගේ තෙමඟුල සමරණ උතුම් වෙසඟෙහි දී ධර්මය අමතක වී එම අවස්ථාව මඩ ප්‍රහාරයකට යොදාගැනීම පැවිද්දන්ගේ පිරිහීම මැනැවින් කියාපාන්නක් නොවේද?

මාගේ දහම් සේවාවට ගැරහුම් ලැබෙන්නට පටන්ගෙන දැන් පස් වසරක් පමණ ගතවී ඇත. මේ පස් වසර පුරාවට එකම කරුණක් මතුකරමින් ගරහති. මෙනිසා මේ ගැරහීම්වලට පසුබිම් වූ කරුණුත්, මෙම ගැරහීම්වල ඇති නිසරු බවත්, පහදාදීම මගේ යුතුකමකි. මක්නිසාද යත්, නොවිමසා, අධ්‍යයනය නොකොට අනුන්ට නින්දා අපහාස ගැරහුම් කිරීම තුළින් බොහෝ දෙනෙක් පව් රැස්කරගන්නා බැවිනි.

මේ ගැරහීම්වල ඉතිහාසය මෙයයි. මා යටතේ පැවිදි වූ දෙනමක් සිටියහ. මා මේ දෙනමගෙන් එක් නමකට මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවත්, අනිත් නමට පිට්ටුගල අමාවතුර අසපුවත් භාර දෙන ලදී. ඒ ගෞතම බුදුරජුන්ගේ නිර්මල දහම පතුරා පින් රැස්කරගැනීම පිණිස ය. අසපු පරිපාලනය මා විසින් නොකළ බැවින් ඔවුන්ට නිදහසේ දායක පිරිස් සමඟ සම්බන්ධ වන්නටත්, එහි ආදායම් ලබන්නටත් නිදහස දී තිබුණි. මේ අවස්ථාවෙන් පින් රැස් නොකොට ඔවුහු ධර්මය වටා පැමිණි පිරිසටත්, ලාභ සත්කාරයටත් මත්වූහ.

මෙසේ පවිටු ආශාවෙන් මඬනා ලද සිතින් යුතු මේ දෙනම මාව මහමෙව්නා අසපුවෙන් පහකරන්නට කුමන්ත්‍රණයක් දියත් කළහ. මෙකී කුමන්ත්‍රණය නිසා එක්තරා මන්තරකාරියක වන යක්දෙස්සියකගෙන් සහය ගන්නා ලදී. මේ යක්දෙස්සිය සෝවාන් ඵලයට පත් කෙනෙක් වශයෙන් හුවා දක්වමින් මේ දෙනම මුලින් ම කරන ලද්දේ මගේ චරිතය ඝාතනය කිරීමයි.

එහෙත් එය මුළුමනින්ම අසාර්ථක විය. මෙයට මා මේ දෙනමට විනයානුකූලව පිළියම් කිරීමට සූදානම් වූ විට මේ දෙනම තවත් ඊර්ෂ්‍යාකාර පැවිද්දන්ගේ ද සහයෙන් විශාල අර්බුදයක් උපදවන ලදී. මෙයට කළකිරුණු මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවේ දායක පිරිසත්, මාළඹේ අමාවතුර අසපුවේ දායක පිරිසත් මේ දෙනමට විරුද්ධ වූහ. කෙළෙහි ගුණ නොදත්, ආචාර්ය ද්‍රෝහී පැවිද්දන්ට අපි අකමැති වෙමුයි තරයේ කියා සිටියහ. මේ ගැන මේ දෙනම සිතුවේ එය මා විසින් කරන ලද බවයි.

ඉන්පසු මා කෙරෙහි තවත් වෛර බැඳගත් මේ දෙනම සංඝාධිකරණයක් අවශ්‍ය යැයි කියමින් එකල මාධ්‍ය හරහා මහත් ආන්දෝලනයක් කළහ. මෙය සංඝයාගේ ගැටලුවකියි කියමින් ඇතැම් මහානායක හිමිවරුන් රවටාගෙන මට විරුද්ධව නොයෙක් පෙළඹවීම් කරන්නට මේ දෙනම සමත් වූහ. එය ද අසාර්ථක විය. ඉන්පසු එක නමක් කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුව ඉල්ලා මට විරුද්ධව නඩු පවරන ලදී.

ඒ නඩුවෙන් ඒ නම පරාජයට පත්විය. අනිත් නම ද මාලඹේ අමාවතුර අසපුවේ අයිතිය ඉල්ලා නඩු පැවරූ අතර, එහි තිබූ ඉල්ලීම් අතර මහමෙව්නාව යන නම ඒ නමගේ මුල් නමට භාවිතයට ඉල්ලා තිබුණි. එමෙන්ම මාගේ ආචාර්යත්වය ද ඉල්ලා සිටියේය. ඒ සියලු නඩු වාර්තා මා ළඟ තිබේ. මෙතරම් ම නරක යැයි කියන භික්ෂුවක් තම ආචාර්යවරයා වශයෙන් පත් කරන්න යැයි ඉල්ලා නඩු පැවරීම සිහි නුවණ ඇති කෙනෙකුට කළ හැකිද? ඔවුන්ගේ සියලු කටයුතුවල ඉලක්කය වූයේ මට සියල්ල එපා කරවීමයි. මා වටා ඇති ජනප්‍රසාදය ඔවුන්ට අත්කර ගත නොහැකි වීම ගැන ඔවුන් තවමත් පසුවන්නේ කණස්සල්ලෙනි.

අන්තිමේදී ඔවුන්ට මහමෙව්නාවෙන් ඉවත් වෙන්නට සිදුවිය. දැන් වෛරයෙහි කෙළවරක් නැත. ඊළඟට කරන ලද්දේ රාවය පුවත්පත නොමඟ යවා මා හට මඩ ප්‍රචාරයක් දියත් කිරීමයි. කොටින්ම ධර්මය අසන්නට මහමෙව්නාව වටා රොක් වූ ඇතැම් තරුණ දරුවන් නොමඟ යවා තම ගුරුවරයාට විරුද්ධව මඩ පෝස්ටර් ගස්සවන්නට තරම් මේ දෙනම නිර්ලජ්ජි වූහ. එය ද අසාර්ථක විය.

ඉන්පසු ඔවුන් කරන ලද්දේ තමන් හට ගෞතම සසුනේ පැවිදි බව ලබාදුන්, ධර්මය ඉගැන්වූ, ආයතන භාර දුන්, සමාජයට හඳුන්වා දුන්, මාධ්‍යයට හඳුන්වා දුන් තම ගුරුවරයා වන මාව විනාශ කිරීමේ පවිටු චේතනාවෙන් ලක්ෂ ගණන් වියදම් කොට විවිධ චෝදනා සහිත කැලෑ පත්තර මුද්‍රණය කොට සියලු විහාරස්ථානවලට යැවීමයි. එමෙන්ම සියලු රාජ්‍ය ආයතනවලට ද සියලු මාධ්‍ය ආයතනවලට ද, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද යවන ලදී.

ඔවුන්ගේ කාලය ශ්‍රමය ධනය ආදී සියල්ල වැයකොට පෞද්ගලිකවත්, මහානායක, අනුනායක, මහා ස්ථවිර, නවක ආදී භික්ෂූන් වහන්සේලා මෙන්ම මාධ්‍ය ප්‍රධානීන් ද හමුවී ඔවුන්ගේ ගුරුවරයා වන මා හට අනේකප්‍රකාර නින්දා අපහාස කොට මේ කිසිවක් නොදත් මේ අහිංසක පිරිස නොමඟ යවන්නට ඔවුහු මහන්සි ගත්හ. මේ උත්සාහය නම් හරි ගියේය. ඔවුන්ගේ අදහස ඉටු විය. එනම් ඔවුන්ගේ එකම අදහස වූයේ භික්ෂූන් ලවා තම ගුරුවරයාට නින්දා අපහාස ගැරහුම් ලබාදී සතුටක් ලැබීමයි.

එහෙත් ඔවුන්ගේ වෛරය සංසිඳුනේ නැත. එක නමක් ඉතාම වෛර සහගත සිතින් යුතුව බුදු සසුන අනතුරේනමින් මා හට නින්දා කොට පොතක් ලියන ලදී. එමෙන් ම මේ ප්‍රශ්නයට මැදිහත් වෙන ලෙස භික්ෂූන්ගෙන් වරින් වර ඉල්ලා සිටින ලදී. මෙය පෞද්ගලික ප්‍රශ්නයක් නොවන බවත්, ශාසනික ප්‍රශ්නයක් බවත් ඉස්මතු කොට කියන ලදී. මොවුන්ගේ් ගැටයට හසුවූ භික්ෂූන් වහන්සේලා තවමත් මා හට නින්දා අපහාස කිරීමට පාදක කරගන්නේ මේ පිළිකුල් සහගත පොතෙහි ඇති කරුණුයි.

මේ පොතේ ඇති චෝදනා අතුරින් එකකි, අසපුව යන්න විග්‍රහ කොට ඇති චෝදනාව. එනම් බෞද්ධ විහාරස්ථාන නැති කිරීමේ අරමුණින් මා අසපුව යන නම තැබුවේලු. මෙය මහා පිළිකුල් සහගත චෝදනාවකි. ආශ්‍රමය යන වචනය මට යොදන්නට අවශ්‍යව තිබූ නමුත් එවිට මහමෙව්නාව ආශ්‍රමය යන්න දැම්මොත් එය නොගැලපේ. එසේ නම් දැමිය යුත්තේ මහාමේඝවන ආශ්‍රමය කියා ය. මේ සංස්කෘත වචනය භාවිතයට වඩා හෙළබසට මා දැක්වූ ඇල්ම නිසාවෙන් මහමෙව්නාව අසපුව යන නම තැබුවෙමි. එමෙන්ම නිර්මල ධර්මය වසර දහසකට වඩා රැකදුන් අනුරපුර මහමෙව්නාවට ගෞරවයක් වශයෙනි මා එම නම තැබුවේ. සාරිපුත්ත, මොග්ගල්ලාන යන වචන හෙලබසට නැඟූ විට සැරියුත්, මුගලන් නම් ය.

බුද්ධ යන්න හෙළ බසට බුදුන් ය. එමෙන්ම ආශ්‍රමය යන්න හෙළ බසට අසපුව ය. ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංගයන්ගේ සිංහල මහා ශබ්ද කෝෂයේ සඳහන් වන්නේ අසපුව යනු සිල්වතුන් වසන තැන නමිනි. මෙහි අරුමය නම් මෙයයි. අසපුව යන වචනයට විරුද්ධ වන කිසිවෙකුත් ආශ්‍රම යන වචනයට විරුද්ධ නොවීමයි. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ අර අසත්පුරුෂ පොඩිනමගේ පොත කියවා කරුණු නොවිමසා මෙයට ගරහන බවයි. ඒ පොතේ ඇති පිළිකුල් සහගත චෝදනා බොහෝ ගිහි පැවිදි අය ගිල තිබෙන්නේ මත්ස්‍යයින් ඇම ගිලින පරිද්දෙනි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්, මඩුවන්තුඩාවේ පඩිතුමා හා එක්ව පරිවර්තිත සිංහල මහාවංශයෙහි සංඝමිත්තා මහරහත් ස්ථවිරීන් ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩසිටි භික්ඛුනූපස්සය යන පාළි වදන හෙළ බසට හරවා තිබෙන්නේ මෙහෙණ අසපුව කියා ය. එතකොට ඒ උතුමන්ගේ පරිවර්තනය වැරදිද? නින්දා ගැරහුම් කිරීමේ අවශ්‍යතාව ඇති පුද්ගලයා ඉඩ ලද සෑම විටම බලන්නේ ඒ තම අවශ්‍යතාවය ඉටු කරගැනීමයි.

අර අසත්පුරුෂ පොඩිනමගේ පොතෙහි මාගේ ත්‍රිපිටක පරිවර්තනවලට බලවත් ලෙස නින්දා කොට තිබේ. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ඒ නින්දා හිස් මුදුනින් පිළිගෙන දායකයන් විසින් පූජා කරන ලද මා පරිවර්තනය කරන ලද ත්‍රිපිටක පොත් වහන්සේලා පිළිකන්නේ තබා ගිනිතැබූ බව මම දනිමි. කෙනෙක් කළ යුත්තේ නින්දා පිළිගැනීම නොව මෙය සත්‍යයක්දැයි විමසීමයි.

කාටවත් නොතේරෙන සංස්කෘත ගාථා ශෛලියෙන් යුතු බුද්ධ ජයන්ති පරිවර්තනවල අඩුපාඩු එමට ය. මේ නිසා සූත්‍ර දේශනා සංක්ෂේපයට පත් කරමින් එක්තරා ආයතනයකින් සරල සිංහල ත්‍රිපිටකයක් ද මුද්‍රණය කරන ලදී. මෙහි දොස් දකින්නට කවුරුත් නැත. නමුත් මා විසින් ලියන ලද ත්‍රිපිටක පරිවර්තනවල දොස් පෙනෙන්නේ මට නින්දා අපහාස කළ පොත ඔස්සේ ය. නමුත් මා භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මාගේ පරිවර්තන පොත් කියවා බලත්වා කියා ය. එවිට ඒ චෝදනාවන්හී ඇති පවිටු බව මැනැවින් දිස්වනු ඇත.

මා බුද්ධ ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෂේප කරන බවත්, බුදු පිළිමවලට ගරහන බවත්, ඔවුන්ගේ තව චෝදනාවකි. අඳෙීමැයි! ඒ පොත ලියූ කෙලෙහිගුණ නොදත් අසත්පුරුෂ පොඩි නම අනන්තවත් මහමෙව්නා භාවනා අසපුවේ දී එහි වැඩසිටින බුදුපිළිම වහන්සේ වන්දනා කොට තිබේ. අහස පොළොව නුහුලන මෙවැනි නින්දා අපහාස මිනිස් සිතක පහළ වන්නේ කෙසේදැයි සිතන විට මා පුදුමයට පත්කරවයි. එතරම් ම මේ නමගේ සිත පිරිහී ඇත.

මා අභිධර්මයට අපහාස කරන බවත්, ගරහන බවත් ඒ පොත කියයි. මා කිසිවකු සමඟවත් අභිධර්මයට ගරහා නැත. නමුත් මා සිත තුළ අභිධර්මය පිළිබඳව සැක උපන්නේ පූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන්ගේ අභිධර්ම පරීක්ෂණ පොත කියැවීමෙනි. බොහෝ තෙරුන් වහන්සේලා අභිධර්මය ගැන පිළිගන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී සංග්‍රහ වූ දෙයක් වශයෙනි. එහි වරදක් තිබේ නම් කළ යුත්තේ අභිධර්මයට විරුද්ධව ලියන ලද ඒ පොත් පත් නිවැරදි කිරීමයි. නමුත් කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් වී නැත.

අභිධර්මය පිටකය භාවිතා නොකරන නමුත් මහමෙව්නාවේ විනය පිටකයත්, සූත්‍ර පිටකයත් ප්‍රායෝගිකව භාවිතයට ගැනේ. මා අභිධර්මය නොපිළිගන්නා බව පවසමින් මට ගරහන ඒ භික්ෂූන් වහන්සේලා අභිධර්මය පිළිගන්නේ නම් මට ගරහන මොහොතේ පහළ වූ සිත් පරම්පරාව ගැන අභිධර්මයට අනුව විමසා ගනිත්වා! ත්‍රිපිටකය තබා විනය ශික්ෂාපද තඹදොයිතුවකටවත් ගණන් නොගන්නා මොන තරම් භික්ෂු පිරිසක් මේ රටේ සිටිත්ද? ඒ භික්ෂූන් ත්‍රිපිටකයෙන් එක පිටකයක්වත් විශ්වාස නොකරති.

එවන් භික්ෂූන් පවා මා අභිධර්මය පිළිගන්නේ නැතැයි චෝදනා කරන්නේ අර පවිටු පොත කියැවීමෙනි. අභිධර්මය කෙසේ වෙතත් මුළු සූත්‍ර පිටකයම කියවා ඇති භික්ෂූන් කොතරම් අල්ප ද? අනුන්ගේ ඇස්වල රොඩු සොයමින් ගෝරනාඩු කරන්නට පෙර තමාගේ ඇස්වල ඇති පොල්පරාල ඉවත් කරගත යුතුය.

මහමෙව්නාවෙන් නෙරපා දමන ලද මේ අසත්පුරුෂ දෙනමගේ පවිටු අදහස ඉටුවිය. එනම් සංඝභේදය කිරීමයි.

කෙලෙහිගුණ නොදත්, හිරිඔතප් රහිත, අසත්පුරුෂ දුෂ්ට දෙනමකගෙන් කැලෑ පත්තර හා මඩපොත් කියවන භික්ෂූන් වහන්සේලා එය අනුගමනය නොකරන සේක්වා. අතීතයේ වැඩසිටිය සඟරුවන මෙන් උතුම් සංඝයා වහන්සේ සිහිනුවණින් විමසත්වා. ඒ පවිටුන්ගේ අදහස ඉටු නොකරත්වා. මහමෙව්නාවට වැඩම කොට මා සමඟ සාකච්ඡා කරත්වා. මා කරන සේවය දෑස් විවර කොට නොවක් සිතින් දකිත්වා.

සංඝභේදය යහපත් දෙයක් නොවේ. මහමෙව්නාවේ පිරිසිදු සිල් සුරකින අහිංසක භික්ෂූන්වහන්සේලා පන්සිය නමක් වැඩසිටිති. මේ සිල්වතුන් හා භේද කොට බොහෝ දෙනාට පව් රැස්කරගන්නට මේ පවිටු දෙනම ගත් උත්සාහය ප්‍රහාණය කරත්වා. උතුම් සංඝයා වහන්සේ සමඟි වෙත්වා. ඊර්ෂ්‍යා පරවෂ සිතින් දුරුවී දැහැමි සිතින් පින් රැස් කරගනිත්වා. මේ දෙය බොහෝ දෙනාට හිත සුව පිණිස හේතුවනු ඇත.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
-උපුටා ගැනීම අවසන්-
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

12 comments:

  1. මට නම් හිතා ගන්ඩ අමරුයි කව්ද හරි කව්ද නිවෙරදි කියලා
    http://www.bavana.org/index.html me link eken gihin තිස් වසරක් ව්දි ඉපදීමෙ දුක කියන pdf eka download karala balala comment ekak denda

    ReplyDelete
  2. බුදු‍රැස් බුදු‍රැස්..!!

    ReplyDelete
  3. දර්මය සරන නොගිය සමහරු අර්ය මහා සන්ගරත්නයට අපහස කරනවා මහමෙව්නාව කියන්නෙ දුර්ලබ තෑනාක් එත්නට අපාහස කරලා අපා ගත වෙන්න එපා

    ReplyDelete
  4. මහමෙව්නාව තියෙන්නෙ ඉන්දියාවෙනෙ.ලංකාවෙත් තියනවද?

    ReplyDelete
  5. ඔතන තියන ගැටලුව මේකයි.උන් වහන්සේ නිසා පන්සිල් පද පහ වත් නොරකපු නමට බෞද්ධ වෙලා ඉඳපු ලොකු පිරිසක් පන්සිල් පද පහ හරි රකින්න ගත්ත.
    නමුත් බුදු දහමේ හරය එනම් පරම සත්‍ය වන නිවන,හොයන මිනිස්සුන්ට උන් වහන්සේගෙන් වැඩක් නැහැ.මොකද උන් වහන්සේගේ භාවනා ක්‍රම හරිම ලාමකයි.
    සමතය අල්ලාගනිමක් තම කියල දෙන්නේ.සමතය විදර්ශනාවට හැරවීම ගැන කතා කරනනැ.ඔන්න ඔතන තම අපේ මේ දෙපිරස ගැටෙන්නේ.
    නමුත් සමබරව හිතනවානම්, සමතය ගොඩක් ආගම්වල කියල දෙනවා.නමුත් විදර්ශනාව ,එනම් නිර්වාන අවබෝදය ලැබිය හැකි එකම මාර්ගය කියල දෙන බුදු දහම පමණයි.එතකොට කෙටි කාලීනව විශාල පිරිසක් ධර්මය වට රොක් වුනත් දිගු කාලීනව බලනකටෝ බහුතරය නියම දහමෙන් ඇත්වෙලා යනවා.
    කෙසේ උවත් කිරිබත්ගොඩ හාමුදුරුවන්ට බනින එක එතරම් හොඳ නැහැ.මොකද උන් වහන්සේගේ මාර්ගය වැරදි උවත් උන් සංගයා වහන්සේ කෙනෙක්.
    ඒ නිසා මටනම් කියන්න තියෙන්නේ උන් වහන්සේ කරන හරි හෝ වැරදි උන් වහන්සේ අරගෙන යාවි.අපි නිවැරදිව විචාරශීලි නියම බෞද්දයන් විදිහට හැසිරෙමු.
    තෙරුවන් සරණයි.

    ReplyDelete
  6. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වර්මින් වහන්සේ දේශනා කරන්නේ බුදු රජනන් වහන්සෙගේ දේශනා තමන් වහන්සේගේ මතයක් ඉදිරිපත් කරන්නෙ නහෑ එ නිසා මෙ අපහස කරන්නෙ බුදු රජනානන් වහන්සේට මෙතන තියෙන්නේ පහෑදිලිවම ඊරිශියාව. මහමෙව්නාවට අපහස කරන සෑම දෙනම සුවපත් වෙවා...නෑත්නම් එයාලට ඒක අයහපත පිනිසම පවතිවි

    ReplyDelete
  7. මං ඥාණාන්දගේ එක බණක මුල හරිය ඇහැව්වා. ඉන්දියාවෙදි දෙයියො හම්බ වෙච්චක කතාවක් කිව්වෙ. මට නං හිතුනෙ මිත්‍යා විශ්වාස පතුරවන්නෙක් හැටියටයි.

    මොනව උනත් තමන්ට ඕනැ දෙයක් අදහන එක මිනිස් අයිතිවාසිකමක්.
    ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමෙට පොරවල් නඩු කිව්වද, ඒ දවස්වල?

    -රසික

    ReplyDelete
  8. හරිම මොන්ටිසෝරි කතාවක්නෙ අපේ හාමුදුරුවො කියල තියන්නෙ........

    ReplyDelete
  9. @ rasika

    උන් වහන්සේගේ පොතක ප්‍රස්තවනවට හෝ පොතේ අග තිබෙන කතෘ ගැන කොටසක මමත් කියෙව්වා " හිමාල වනයේ ඍෂි වරුන් " හමුවෙලා "සමයාන්තර ඥානය " දියුණු කල කියල.

    ``````````````````````````````````````````````

    අනෙක් කරනවා තම ත්‍රිපිටකය සිංහල හැරවීම.ත්‍රිපිටකය පිරිසිදු ඒ අදහසම ලැබෙන්නේ එය තිබෙන බෂවෙන්ම පරිහරණය කිරීම තුලින්.අද මම මැදගොඩ අබේතිස්ස හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවකටත් ඔය දේම දේශනා කල ඇහුව.තවමත් පාලි බෂාවේ වචන වලට සිංහල වචන ආදේශ කරන්න බහලු.ඉතින් ඔයාල තීරණය කරන්න කිනම් පුද්ගලයාගෙන් කිනම් පමණකට ධර්මය ගැන අස දැනගන්නවද කියල.හැබැයි එහෙමයි කියල කිරිබත්ගොඩ හාමුදුරුවන්ට බනින එක අනුමත කරනෙපා.උන් වහන්සේ මොනවා උනත් හිමි නමක්.උන් වහන්සේගේ දැනුම පමණින් උන් වහන්සේ ධර්මදේශන කරනවා.
    තෙරුවන් සරණයි

    ReplyDelete
  10. ඇයි පාලි සිංහලට පරිවර්තනය කරන්න බැරි...?

    ReplyDelete
  11. මා දන්නා විදිහට ඕනම භාෂාවක් තවත් ඕනම භාෂාවකට පරිවර්තනය කල හැක.(මට හැගෙන විදිහට නම් මෙතන පෞද්ගලික මතිමතාන්තර ඇරෙන්නට වෙන දෙයක් නැත.)

    ReplyDelete
  12. මෙතන ඥාණානන්ද ස්වාමින් වහන්සේගේ ධර්මය කියා දෙයක් නැත තියෙන්නේ ථතාගතයන් වහන්සේගේ ධර්මයයි.මොකද උන් වහන්සේගේ භාවනා ක්‍රම හරිම ලාමකයි කියන අය ඔය කාටද අපහස කරන්නේ කියාවත් දන්නේ නැහැ.මට නම් කවුද හරි කවුද වැරදි කියා අමුතුවෙන් හිතා ගන්න ඕනි නැහැ. මොකද හොදටම තේරෙනවා.

    ReplyDelete