නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

......එජාපයේ කිඹුල් කඳුළු...


පසුගිය දින කීප‍ය තුළ සෑම මාධ්‍යයකම අසන්නට දකින්නට ලැබුණු ප්‍රධානතම මාතෘකාවක් වූයේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා ට වර්තමාන ආණ්ඩුවෙන් සිදුවන කෙනෙහෙලි කම් වලට එරෙහි වීම සඳහාත් රටේ පවතින අනෙකුත් පොදු ගැටළු විසඳාගැනීම සඳහාත් විපක්ෂයේ සියළුම පක්ෂ වලට එක්ව තම පක්ෂය  හා අත්වැල් බැඳගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා කළ විවෘත ආරාධනයයි.පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දංගෙඩියට ගිය සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් හටගත් අනුකම්පාව මත හෝ දුක්විඳින රටේ ජනතාව සුඛිත මුදිත කිරීමේ අරමුණෙන් එක්සත් ජාතික පක්ෂය මෙම ආරාධනාව කරන්නට ඇතැයි බැලූ බැල්මට පෙනේ.එසේම  එජාපයේ විවිධ මට්ටමේ නායකයින් නිරන්තරයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් අසාධාරණ චෝදනා මත රඳවා ගෙන ඇති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස හා ජනතාවගේ ප්‍රශ්න විසඳා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. එජාපය මේ ඉල්ලීම් කරන්නේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතා කෙරෙහි උපන් සැබෑ අනුකම්පාවෙන්ද..?රටේ ජනතාව වෙනුවෙන් උපන් සැබෑ අනුකම්පාවෙන්ද..? නැත...කිසිසේත් නැත.එක්සත් ජාතික පක්ෂ‍ මේ උත්සහාකරන්නේ පසුගිය ජනාධිපත්වරණයේදී සිදුකල ආකාරයටම ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ඉදිරියට දමමින්,ඔහු ප්‍රධාන මාතෘකාව කරගනිමින් තම පක්ෂයේ ඇති යම් යම් අර්බුද යටපත් කර ගැනීමටය.මෙසේ පැවසීමට සාධාරණ හේතු කිහිපයක් ඉදිරිපත් කළ හැක.ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි පළමු යුධ අධිකරණයේදී ඔහුට එරෙහිව සාක්ෂි දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙ‍විරත්න මහතාගෙන් ඒ පිළිබඳව තවමත් කරුණූ විමසා නැත.එජාපය පොදුවේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ උත්සහායක නිරත වනවා නම්,ඊට එරෙහිව යන තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ගන්නා පියවර කුමක්දැයි පැහැදිලි කිරීමක් කර නැත. පක්ෂයේ පොදු මතයට පිටින් යන මන්ත්‍රීවරුන් පිලිබඳව කිසිම ක්‍රියා මාර්ගයක් නොගැනීමෙන් පෙනීයන්නේ වක්‍රාකාරයෙන් පක්ෂයද එම මන්ත්‍රීවරයාගේ මතය,ක්‍රියාකලාපය අනුමත කරන බව නොවේද..?(පාලිත රංගේ බණ්ඩාර මහතාට පහරදීමට අදාල සිද්ධියද මෙසේමය).... එබැවින් තම පක්ෂය තුළම සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම පිළිබඳව එක් මතයක් නොමැතිනම් අනෙක් පක්ෂ වලට ඒ සඳහා ආරාධනා කිරීමේ පදනම කුමක්දැයි නොවැ‍ටහේ. පසුගිය දින කීපයකම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ ප්‍රබලයින් අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපති වරයා මුණ ගැසුණු බව හා ඔවුන් එහදී ඉතා සුහදව සාකච්ඡා කලබව මාධ්‍ය මඟින් දක්නට ලැබුණි.හන්දියක් හන්දියක් ගානේ උද්ඝෝෂණ කරමින් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත්,බඩුමිල අඩුකරන ලෙසත්,රටේ අනෙකුත් ප්‍රශ්න විසඳන ලෙසත් ආණ්ඩුවට බලකරමින්,ජනාධිපතිවරයාට බලකරමින් යටිගිරයෙන් කෑගසන රනිල් වික්‍රමසිංහ ඇතුළ ප්‍රබලයින්ට අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයා මුණගැසුන විගස ඒ සියළුම ප්‍රශ්න අමතක වී යයි.ඔවුන් අරලිය ගහ මන්දිරයට ගොඩවැදුණු විගසම සරත් ෆොන්සේකා කෙනෙක් ගැන මතකයක් නැත.බඩු මිල වැඩවීම ගැන මතකයක් නැත.මාධ්‍ය නිදහස නැතිවීම ගැන මතකයක් නැත.වෙන කිසිම රටේ ප්‍රශ්නයක් මතක නැත.ඔවුන්ට ඇති එකම ගැටළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම පමණී. විපක්ෂ නායක ඇතුළු එජාපයේ අනෙකුත් ප්‍රබලයින් ජනාධිපතවරයා සමඟ සතුටු සාමිචියේ යෙදී වෙලාවක් ඉතුරු වූවහොත් සාකච්ඡා කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර විධායක අගමැති ක්‍රමයක් සැකසීම පිළිබඳ පමණය.මෙරටේ ජනතාවට දැන් ඇති එකම ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමද.?විධායක අගමැති ක්‍රමයක් ඇති කිරීමද.? නැත..රටේ ජනතාවට ඒවාට වඩා ප්‍රශ්න ඇත.හන්දියක් හන්දියක් ගානේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව උද්ඝොෂණය කරන විපක්ෂ නායක ඇතළු එජාපයේ ප්‍රබලයින්ට ජනතාවගේ එම ප්‍රශ්න පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කට ඇරෙන්නේ නැත.දිව නැමෙන්නේ නැත.ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදය ප්‍රචාරය කිරීමටත්,මුල්‍යමය අංශයෙන් කොටි සංවිධානය ශක්තිමත් කිරීමටත්,ආයුධ බලයෙන් කොටි සංවිධානය ශක්තිමත් කිරීමටත් ප්‍රධානවම ක්‍රියාකල කුමරන් පද්මනාදන්ට(KP) වීරයෙකු ලෙස සලකා නීතිමය ක්‍රියා මාර්ග නොගෙන සුඛ විහරණය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳවත්, යුද්ධය දිනා දීමට දිවිහිමියෙන් කටයුතු කළ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා හටගත් වෛරය මත වෙනත් චෝදනා ගොනු කර  සිරභාරයට ගෙන ඇති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගෙන් එසේ කුහක ආකාරයට පළිගැනීම පිළිබඳව ජනාධිපතිගෙන් ප්‍රශ්න කිරීමටත් විපක්ෂ නායක ඇතුළු එජාපයේ ප්‍රබලයින්ට කට ඇරෙන්නේ නැත.දිව නැමෙන්නේ නැත. ප්‍රශ්න වලට විසඳුම් ලබාගත හැකි හොඳම තැනදී(ජනාධිපති ඉදිරියේදී) ගොළුවත රකින,එවැනි තැන්වලදී වෙන වෙන වල් පල් කථා කරන රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපය, ගමේ හන්දි අසල උද්ඝෝෂණ කරමින් ප්‍රශ්න විසඳා ගැනීමට උත්සහ කරයි. ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමටත්,රටේ අනෙකුත් ප්‍රශ්න විසඳාගැනීමටත් තමන් හා එක්වන ලෙස කියන එජාපය, එම පක්ෂ  ඔවුන් හා එකතු වූ පසුද මේ ආකාරයටම ජනාධිපති ලඟ වැඳ වැටීම හැර වෙනත් යමක් බලාපොරොත්තු විය නොහැක.කෙසේ නමුත් මේ දෙය පැහැදිලිය.....ජනතා ප්‍රශ්න විසඳීමටවත්,ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමටවත්,ආණ්ඩු බලය ලබාගැනීමටවත් එජාපයට උවමනාවක් නැත.ඔවුන්ට උවමනා වන්නේ තවත් චිරාත් කාලයක් විපක්ෂයේ රැ‍ඳෙමින් රාජපක්ෂ  පාලනය ශක්තිමත් කිරීම පමණකි.එනම් එජ‍ාපයට රාජපක්ෂ වරුන් විසින්  පවරා ඇති රාජපක්ෂ පාලනය ශක්තිමත් කිරීමේ කොන්ත්‍රාත්තුව රාජපක්ෂ වරු බලාපොරොත්තු වනවාටත් වඩා හොඳින් කිරීම පමණකි.
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed